Wednesday, March 18, 2015

මෛත්‍රීට ලැබුන ශ්‍රිලනිපේ හා මහින්දට ලැබුන ශ්‍රිලනිපේ වෙනස ..


පසුගියදා ශ්‍රීලනිප නායකයින් කැදවා වර්තමාන ජනාධිපති සිරිසේන මහතා කල කතාව බොහෝ  අවධානයට යොමුවුවකි .  ඔහුගේ එම කතාවට සවන් දුන් මට මෙය ලිවීමට සිත් වුයේ ඔහු තම කථාවේදී නොකී යමක් ඇතැයි මට සිතුනු හෙයිනි. ඔහුගේ එම කතාවේ අයචනාවන්, චෝදනාවන්,මෙන්ම තර්ජනයන් ද විය. එහෙත් ඒ සියල්ල අදාල වන්නේ එතැන රැස්වූ නායකයින්ට පමණක්ම හෙයින්  මහජන සිත් කැලබිමට හෝ සංවේගයට පත් නොවුනී. පොදු මහජනයාට එම කතාව එතරම් බලපෑමක් නොවීමේ හේතුවද මා විසින් මේ උක්ත කතාව පිලිබඳ කියන්නට යන දේට ඍජු සම්බන්ධයක් තිබේ. 

තම කතාවේදී සිරිසේන ජනාධිපති තුමා අවධාරණය කල එක් කරුණක් නම් චන්ද්‍රිකා මහින්දට පක්ෂය භාර දුන් පසු  චන්ද්‍රිකා පක්ෂයේ කටයුතු වලින් මිදී මහින්දට දුන් සහයෝගය තමාද මහින්දගෙන් බලාපොරොත්තු වන බවයි .  නමුත් කතාවේදී එය සාධාරණ ඉල්ලීමක් මෙන් පෙනුනද එය ක්‍රියාත්මක කිරීමට අමාරුම දෙයක්ය. එයට හේතුව නම් චන්ද්‍රිකා ශ්‍රීලනිපය මහින්දට දුන්නේ චන්ද්‍රිකා කෙරෙහි බහුතර සාමාජිකයින්ගේ අප්‍රශාදයට පත්වූ අවස්ථාවකය. එමෙන්ම පක්ෂයේ බහුතරයක්ම මහින්දට සහය දක්වන වාතාවරණයකය. මහින්දගේ නායකත්වය මහින්දට අකමැති අයටවත් සාධාරණව අභියෝගයට ලක් කිරීමට තරම් හේතුකාරණ නොමැති අවස්ථාවකදීය. නමුත් මෛත්‍රී පක්ෂ නායකත්වය ගන්නේ බලෙනි. ඔහු පක්ෂ සාමාජිකයින් අදටත් හදුන්වන්නේ ශ්‍රීලනිප පක්ෂය බලයේ තිබියදී සමප්‍රදායටවත්  ගරු නොකොට සුළුතර යු එන් පි විපක්ෂයෙන් අගමැති පත්කළ  ශ්‍රීලනිප පාක්ෂිකයා යු එන් පි ය ඉදිරිපිට දැනගස්වූත්,  විපක්ෂ චන්ද බලයෙන් පත්වූත්, පුද්ගලයෙකු ලෙසිනි. ඔහු පක්ෂයෙන් ගියේ පාක්ෂිකයින් බහුතරයකගේ ඇසට කඳුළු ගලන තරම් වූ ජනප්‍රිය නායකයෙකු ලෙසින් නොවේ. එදා ශ්‍රීලනිප පාක්ෂිකයින් වූ  අප ඔහු දුටුවේ දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නා පක්ෂ මහලේකම් ලෙසිනි . 

ඔහුගේ කතාවේදී ඔහුට වූ අසාධාරණය අසා ජනක තෙන්නකෝන් දුකින් හඬා වැටුන බව ඔහු මතක් කළේය. ඔහුට මොන යම් හෝ අසාධාරණයක් මහින්ද හෝ පක්ෂය වෙතින් වී දැයි අපි නොදනිමු. නමුත් එදා නිහඩව සිට අන්තිම දිනය දක්වා මහින්දගේ ගුණ වැයුවේ බොරුවට නම් මොන විදියෙන් බැලුවත් ඔවුන් වැනි නායකයින් ගේ අනුගාමිකයින් වනවාට වඩා අප විසින්ම අපේ චන්ද අයිතිය අහිමි කරගනිමින් දේශපාලනය පිළිකෙව් කල යුතු යයි හැගේ. මන්ද අවංක හෘද ශාක්ෂියකින් තොරව කටයුතු කරන්නේ නියම නායකයින් නොව කපටි අවස්ථාවාදීන් වන බැවිනි. අප අවස්ථවාදී දේශපාලකයින්ට රැවටුන මුත් අපේ දරුවන් ඔවැනි දේශපාලකයින්ට හසු නොවෙනු වස් එවන් දේශපාලන නරුමයින් දේශපාලනයෙන් ඉවත් කර ලීම අද ජිවත් වන අපගේ යුතුකමකි 

රටට අවශ්‍ය නායකයින් තමන්ට පෙර රට ගැන සිතන්නවුන් විය යුතුය. ඔහු කුමන්ත්‍රණ කරුවෙකු ලෙසින් නොව අසාධාරණයට එරෙහිව පක්ෂයෙන් හා තනතුරු හැරගියා වී නම් අපට ඔහුගේ කථාව අපේ දෙනෙතටද කඳුළු ගෙන එන්නට තිබිණි එහෙත් අද අප මේ දකින සිරිසේන නායකයාගේ  භාවිතාව එසේ නොවූ හෙයින් ඔහු ගැන එසේ සිතන්නට අපට සිත් නොදේ. 

අපට මෛත්‍රී පෙනුනේ තීරණාත්මක අවස්ථාවකදී පක්ෂය හැරගිය ද්‍රෝහියෙකු ලෙසිනි. මුළු චන්ද කාලය පුරාම මෛත්‍රී කිවේ විධායක බලය නම් පිළිලයත්, රාජපක්ෂ පවුල් දේශපාලන සංස්කෘතියත් නිම කර ලීමට ඔහු ශ්‍රිලනිපේ මහලේකම් කමත් තනතුරුත් පුජා  කල බවත් දැන් තමා නිර්පාක්ෂිකයෙකු ලෙස ජනාධිපති කාර්ය භාරය ඉටුකරන බවත්ය. මේ සියල්ල අද අමතක කර අද ඔහු කියන්නේ ඔහු ශ්‍රිලනිපේ දිනවීමට කැපවන බවය. මේ ඔහු කියන්නේ ඔහු ජනාධිපති කරවූ උන් හෙට ශ්‍රීලනිප පාක්ෂිකයින් ඉදිරියේ දනගස්වන බවද. නැත්නම් දිනන ශ්‍රිලනිපේ හෙට යු එන පි කාරයන් ළඟ දනගස්වන බවද? දැන් දේශපාලන කරලියේ සිටින විශ්වාස කල නොහැකිම නායකයා මෛත්‍රී වී අවසානය. මට සිතෙන විදියට ඔහුව කිසිවෙකුට විස්වාස කල නොහැක. 

තවදුරටත් කථා කරමින් ඔහු කීදේ ඉතාමත් බොළඳ බව මට හැගේ. රැජින ඇත මේස් නොමැතිව අතට අත දීම මහා ඉහලින් වර්ණනා කරන්නේ ඔහු ශ්‍රී ලංකාව නම් ස්වෛරී ජනරජයේ ජනාධිපති ලෙසින් නොව, බ්‍රිතාන්‍ය අධිරාජයේ යටත් වැසියෙකු ලෙසිනි. ඔහු තාමත් තේරුම් ගෙන නැත්තේ ශ්‍රීලංකා කාරයින්ගේ හදවතය. සැබෑ ශ්‍රීලනිප පාක්ෂිකයෝ බටහිර අධිරාජ්‍යවාදීත්වය බැහැර කරන්නේ පිළිකුලෙනි. සමහරෙකුට ඔවුන්ගේ යටත් වාසීන් වී සිටීම ඉමහත් ගෞරවයක්  සේ සැලකුවද නිවහල් භාවය අගයන බොහෝ දෙනෙක් එය අනුස්මරණය කරන්නේ දැඩි වූ සිත් වේදනාවකිනි. එමෙන්ම ඔහු කියන්නේ අපි මේ සිටින්නේ ලිප දිය රත්වෙන තුරු බවයි. එනම් මොනයම් හෝ වෙලාවක බලවතුන් ගේ පහර දීමට අප ලක් වීමට නියමිත බවයි. නව යටත් විජිතවාදය අගයන මොහු ය වර්ණනා කරන්නේ එමගට යොමුවී මහත්ඵල මහානිසංස ලැබිය හැකි වනුඇත කියාය. එනිසා විදේශ බලවතුන්ට යටත් වී කටයුතු කිරීමෙන් අපට බොහෝ කලක් ජිවත් විය හැකි වනු ඇති බවය. මට  මෙයට නම් කිව හැක්කේ දහස් ගණන් අපේ රණවිරුවන් මැරුණේ ඇයි කියා මෛත්‍රී නොදන්නා බවය. 

මෛත්‍රී බොහෝදේ නොදන්නා බව දැනගන්න ලැබෙන්නේ ඔහු බලයට පත් වූ පසුවය. එය ඔහුව බලයට පත් කල පාර්ශ්ව කරුවන්ට ප්‍රස්නයක් නොවේ. මන්ද එය ඔවුන්ගේ නිර්ණායක අනුව බල හුවමාරුවට සුදුසු පසුබිමක් ඇතිකරුනු ලබන හෙයිනි. නමුත් මෙවන් නායකත්වයක් නම රටකට හෙනයක් බව නම් නොකියම බැරිය. අවසානයේ අපට "රජෙක් ඕනෑවී තිබේ" මහරාජිනියට දන බිම ඇන නමස්කාර කරන උන් අපේ රටේ රජෙක් ඉන්නවා කියන විට රෙදි උස්සගෙන එන බව මම දනිමි. එහෙත් විදේශික රජුන්ට වඩා  මම මගේ රටේ මිනිසෙකුට රජෙක් යයි අමතන්නේ අවංකවමය. එසේ නැතිව මිට අවුරුදු කීපයකට පෙර මෛත්‍රී කීවක් මෙන් මුනිච්චාවට නොවේ. 

ඒ නිසා මා මෙන්ම බහුතර පිරිසක් නැවතත් මහින්දවම අමතති. ඒ නැවතත් වැරද්දක් කර රට විනාශ කර ගැනීමට අපට නොහැකි හෙයිනි. මිනිසුන් හා නොමිනිසුනුත්, කල යුතු දෑ හා නොකළ යුතු දැත් දැන්  ඔහුටද මැනවින් අවබෝධ වී ඇති බව අප දනිමු. අප මහින්දට කියන්නේ සිසර්ගේ දේ සීසර්ට දෙන සේ, ශ්‍රීලනිපයත් එහි ඉන්නා නරුමවාදී දේශපාලන නායකයිනුත් අතහැර නව ගමනකට එන ලෙසයි.  

මහින්ද සමග අභිමානනීය ශ්‍රී ලංකාවක් අපේ අපේක්ෂාවයි   






   
   

Friday, February 20, 2015

මා සදාකල්හිම දේශපාලන ජීවියෙකි..


මුහුණු පොත (facebook) තුල මා share කරන දේවල් හා ලියන, කියන දේවල් අසන දකින මගේ මිතුරන් මගෙන් විමසන දෙයක් නම්.. මා ඕනෑවට වඩා දේශපාලනයට නැබුරු වෙනවාද?.. මා ජාතිවාදී වෙනවාද?.. ම ආගම්වාදී වෙනවාද?.. යන ප්‍රශ්න වැලයි.. මා ඔබට දෙන පිළිතුර මෙයයි 

ඇත්තෙන්ම මා සදාකල්හිම දේශපාලන ජීවියෙකි.. වර්තමාන ලෝකයේ දේශපාලනයෙන් මිදුණු කිසිවෙකු ලොව ජිවත් නොවේ යයි මම තදින්ම විශ්වාශ කරමි. යමෙකු දේශපාලනය නොකරනවා හෝ දේශපාලනයට අසංවේදී වීම යනුවෙන් යමෙකු හදුන්වන්නේ.. කිසිවෙකු කිසිම දේශපාලනයක් නොකරනවා යන්න නොවේ. ඔවුන් ඕනෑම දේශපාලනික රාමුවකට අනුයුක්ත වනවා යන්නයි. මම විස්වාශ කරන්නේ සැබවින්ම එය ඕනෑම ස්වාමියෙකුට කීකරු සත්වයෙක් වීමක් මෙනි. සැබවින්ම මා දේශපාලනය කරමි. මා පාලනය වීමට කැමති ආකාරයක් මට ඇත. මා අවනත වීමට කැමති නායකයින්ද මට ඇත. මගේ දේශපාලනය යනුවෙන් මා විශ්වාශ කරන්නේ මම කැමති වාතාවරණයක් තනා ගැනීමට ම දරණ උත්සාහයත්, එය මම කැමති විධියකට හා මම කැමති නායකයින් යටතේ ලැබිමටත් මා දරණ උත්සාහයත්ය. එවන් තත්වයක් මා යම් හෙයකින් ලැබුවත් මා කිසිවිටෙකත් සුවච කීකරු අනුගාමිකයෙකු නොවේ. මම කැමති නායකයින්, මම කැමති පාලන ක්‍රමවේදයන්, මෙන්ම ම කැමැති වාතාවරනයන්ද, වඩා යහපත් ගොඩනැගීමක් කරගනු වස් විවේචනය කරන්නාවූ ස්වාදීන පුරවැසියෙක් වීමට මම කැමැත්තෙමි. එහෙයින් මම සැමවිටම මම මගේ පරමාධිපත්‍යත්, මගේ ස්වාධිපත්‍යයත්, මගේ අධිකාරීත්වයත් වෙනුවෙන් හඬ නගමි සටන් කරමි. මාගේ දේශපාලනය එයයි. එම දේශපාලනය මම කරන අයුරින්ම මගේ මිතුරන්ද,සතුරන්ද කරනු දැකීමත් එය ඉවසීමත්, එය ඉවසීමට නොහැකි තරම් වූ පීඩනයක් ම වෙත යොමු කෙරේනම් එයට එරෙහිව සටන් කිරීමත් මගේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ මගේ දේශපාලනයයි.

අනෙක් කරුණ නම් මා ජාතිවාදීද යන්නය. මා කිසිමවිටක ජාතිවාදී නොවන අතර ජාතිවාදය ප්‍රතික්ෂේප කරමි. එහෙත් මම ජාතිකවාදියෙක් යන්න නොබියව පවසමි. මගේ ජාතිකත්වය ශ්‍රී ලාංකික සිංහල වන අතර මේ විශ්වය තුල මගේ ජාතිකත්වයට හිමි විය යුතු සියලු සාධාරණ අයිතීන් ලැබීමටත් ඒවා කිසිවෙකුගේ අවහිරයකින් තොරව බුක්ති විදීමට මම සැමවිටම අපේක්ෂා කරමි. මාගේ හොදම පෞද්ගලික මිතුරන් අතර සියලු ජාතින් සිටිති. මම මගේ ජාතිකත්වයේ අයිතීන් වෙනුවෙන් හඬ නගන විට ඔවුන්ගේ සිත් රිදේ නම් මම ඉතා කණගාටු වෙමි. එහෙත් මා සැබවින්ම ඕනෑම දෙමළ, යෝනක, හෝ වෙනත් ජාතියක කෙනෙකුට මේ ශ්‍රී ලංකාවේ ඕනෑම තැනෙක ජිවත් වීමට අයිතියක් ඇති බව විශ්වාශ කරමි. එය සිංහලයෙකුට යාපනයේත්, දෙමලෙකුට කොළඹත් ජිවත් වීමට හා ජීවිකාව කිරීමට ඇති අයිතියයි. යම් හෙයකින් කිසිවෙකු දෙමළ අයට යාපනයේත්, මුස්ලිම් අයට නැගෙනහිරත්, වාසය කිරීමට පරම අයිතියක් ඇති බවත් සිංහලයින්ට එම ප්‍රදේශ වල පදිංචි වීමට හෝ ජිවිකාවට අවකාශ නැති බවත් කියයි නම්. මේ ශ්‍රී ලංකාවට අයත් භුමි ප්‍රදේශය තුල මගේ ජාතිකත්වය වූ සිංහලයින්ට ඕනෑම තැනක සාධාරණව පදිංචි වී ආරක්ෂිතව ජිවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින අතර ඒ බව ඕනෑම විටක නොබියව ප්‍රකාශ කරමි. එය මගේ ජාතිකවාදිත්වය මිස ජාතිවාදය නොවේ. ජාතිවාදය යනු මගේ ජාතියට ඇති අයිතිය අන් ජාතියකට නොමැති බව ප්‍රකාශ කරන පටු නියායකි. මම එය බැහැර කරමි. මම විස්වාස කරන්නේ ශ්‍රී ලංකික සිංහලයෙකු ලෙස මට ඇති සියලු අයිතීන් අන් අයට තිබිය යුතුවා මෙන්ම අපටද එම ලෙසින්ම ලැබිය යුතු බවයි . 

මාගේ ආගමිකවාදිත්වය පිළිබදවද මට පැවසීමට ඇත්තේ පෙරකී දෙයමය. මම ශ්‍රී ලංකික සිංහල බෞද්ධයෙකු වන අතර අනෙක් අයටද තම කැමති ආගමක් ඇදහීමේ අයිතිය ඇති බවත් එය මා ගරු කරන බවත්ය. එහෙත් මේ විෂයේදී අන් ය විසින් අවබෝධ කරගත යුතු කීපයක් ඇති බව ම විස්වාශ කරමි. කැමති වුවද නොවුවද ශ්‍රී ලංකාව තුල බුද්ධ දහම පැවැත එන්නේ අවුරුදු දෙදහස් පන්සියකටත් පෙර සිටය. එනම් කිස්තුස් වහන්සේ ඉපදීමටත් අවුරුදු පන්සියකට පෙර සිටය. මුහමුද් තුමා ඉපදීමට අවුරුදු දහසකටත් පෙර සිටය. එහෙයින්ම මේ රට බොදු දහමින් පෝෂිත ශිස්ටාචාරයකට අනුව ගොඩනැගුනකි. පැහැදිලිව කිවොත් ශ්‍රී ලංකාව යනු ලොව පුර සිටින බෞද්ධයන්ගේ වතිකානුවයය නොඑසේනම් මක්කමය. වතිකානුවේ හෝ මක්කම සිටින බෞද්ධයෙකුට ඔහු හෝ ඇය ශ්‍රී ලංකාව තුල බුක්ති විදින ආකාරයේ ආගමික නිදහසක් ලොව වෙන ඕනෑම රටකදී මෙන් අපේක්ෂා කල නොහැක. මෙය මේ ශ්‍රී ලංකාව තුල ජිවත් වන අන්‍ය ආගමික මිතුරන් විශ්වාශ කලයුතු යයි මම සිතමි. එහෙයින් මම ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතික පැවැත්ම උදෙසා කොන්දේසි විරහිතව පෙනී සිටිමි. ඒ ආකාරයෙන්ම මම යම් කෙනෙකු වතිකානුව,මක්කම වැනි තැන් මුස්ලිම්, කිතුනු හෝ බෞද්ධ සංස්කෘතියකට නතු කිරීමට උත්සහ කරයි නම් මගේ මුස්ලිම් හා කිතුනු මිතුරන් සමග එක්ව එයට එරෙහි වෙමි. එහෙයින් මම සැමවිටම වී ඇත්තේ ආගම්වාදියෙකු නොව, ලොව සුවිශේෂ ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතිය, කතෝලිකයෙකු වතිකානුව රකින පරිදි , මුසල්මනුවෙකු මක්කම රකින පරිදි රැකගැනීම පමණි 

මේ වගට 
වසන්ත තෙන්නකෝන්

Sunday, December 28, 2014

ඉඳ ඉඳ එක වෙහෙර අනේ දෙව්දත් නොදිටි මොක්පුර ...!!!

ජයග්‍රහණයට පියවරුන් බොහෝ දෙනෙකු ඇතත් පරාජයන් අනාථයන් බව පවසා ඇත්තේ මධ්‍යතන යුගයේ ඉතාලියේ විසූ Tacitus විසිනි. මේ කියමන මොනතරම් සත්‍යය දැයි දැනෙන්නේ මේ දිනවල අපේ ජනාධිපතිවරණ දේශපාලන වේදිකාවේ විපක්ෂයෙන් ඇසෙන කථා නිසාවෙනි. එම එම කතා වලට අනුව ලොව කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානය වූ LTTE යට එරෙහි යුද්ධයේ සේනාධිනායකයෝ ඔවුහුය. අවුරුදු කීපයක් පුරා යුද්ධය කෙරෙන අවස්ථාවේ සිටි හා යුද්ධය ජයගත් අවස්ථාවේ සිටි සේනාධිනායකයා වන මහින්ද රාජපක්ෂ නිවටයෙකි. මහින්ද රාජපක්ෂ යනු ඔවුන්ගේ ජයග්‍රහණයන් හිස පැළදී රූකඩයකි. ඔවුන්ට අනුව අද මේ මහින්ද රාජපක්ෂ පිතෘත්වය දරන යුධ ජයග්‍රහණය සැබෑ වුත් අභීත වූත් පියවරුන් ඔවුහු මිස මහින්ද රාජපක්ෂ නොවන්නේය. 

 මේ ප්‍රකාශයන්හි ඇති ලොකුම අවුල නම් මේ විපක්ෂ වේදිකාවේ කථා අපව උභතෝකෝටික ප්‍රශ්ණ වල සිර කිරීමයි. එකම කතාවේදීම පරස් පර අදහස් අපේ ඔළුවලට දමන්නට වලිකෑමයි. ඔවුන් පවසන දේවල් වලින් කුමක් ඇත්තද? කුමක් බොරුද ? සියල්ලම බොරුදැයි සිතා ගත නොහෙයි. මහින්ද රාජපක්ෂව කනෙන් ඇදගෙන ගොස් යුද්ධය දිනා දුන්නා යයි පවසන ඔවුන්ම එම කථාවේම මැද හරියේදී මහින්ද රාජපක්ෂ යනු මහා භයානක ඒකාධිපතියෙකු බවත් ඔහු ජනාධිපති සතු විධායක බලය යොදවා රට පාලනය කරන බවත් කියයි. මේ නිසා වසර ගණනාවක්ම තමන් කුක්කන් මෙන් ඔහු යටතේ සිටි බවත්, අවුරුදු ගණනාවකට පසුව ඔහුගෙන් මිදී ගල් ලෙන් බිඳ ලෙන් දොරවලුත් කරපින්නා ගෙන ආ බව කියයි. ඊ ලගට එම කතාව අවසන් කරන්නේ භයානක ඒකාධිපතියෙකු කනෙන් අල්ලා ලෙනට දැමීමට අවස්ථාව දෙන ලෙසයි . වරෙක මහින්දව කනෙන් ඇදගෙන ගියා කියා පිරිමියෙක් මෙන් කියන උන් ඊ ලගට ගැහැණු වොයිස් එකෙන් කියන්නේ මහින්ද ඔවුන් සුන්නත් කර ගල් ලෙන්වල සිරකර දැමු බවයි. තමන්ව සුන්නත් කරන තෙක් නිකං බලාසිටි රෑනක් දැන් මහින්දගේ කර අඹන්න පුළුවන් කියනවා නම් ඒක සිරා විහුළුවක්මය. මේ කතා වල ඇත්ත කුමක්ද? මෙවන් කථා අසන විට මට හැගෙන්නේ අපේ රටේ දේශපාලනයේ රගන නළුවෝ සිතා සිටින්නේ අපි ඔවුන්ගේ විජ්ජා බලන්න ඇවිත් සිටින අන්ධයින් පිරිසක් බවයි. එහෙත් ඔවුන් වටහාගත යුතු කරුණ නම් තවමත් මේ රටේ අවධියෙන් සිටින පිරිසක් සිටින බවයි. ඔවුන් අතීතය මෙන්ම වර්තමානයද කියවන්නේ ඔවුන්ගේ ඇසින්ම පමණක් ද නොවන බවය. අද අප රට ඉල්ලන්නේ හිතා මතාම බල තණ්හාවෙන් රට නොමග යවන නායකයින් නොවන බවය. 

අද විපක්ෂයේ වේදිකාවේ සැබවින්ම එදා යුද්ධය ජයගැනීමට උරදුන් සරත් ෆොන්සේකා හිටපු ජනරාල්, හෙළඋරුමය, ජවිපෙ, වැනි සේනාධිපතියන්, සම්පාදකයින් මෙන්ම රට පාවාදීමේ ක්‍රියාන්විතයේ යෙදී සිටි දේශද්‍රෝහී නඩේ රාලලා එකතුවී ඇති පොදු වේදිකාවකි . නමුත් මට පෙනෙන විදියට ඔවුන් අතරින් සැබවින්ම හෘද ශාක්ෂියක් මෙන්ම අභීත බවක් තිබු අයෙක් නැති තරම්ය. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ එදා ඔහු මහින්දට රජෙක් කියා කිවේ බොරුවට බවය. ඔහු මෙතෙක් කල් මහින්ද ලගට වී මහින්ද පරදන කුමන්ත්‍රණය කල බවය. එවිට යම් හෙයකින් සිරිසේන ජනාධිපති උනොත්, අප රටේ අනාගතේ උපදින දරුවන් අපේ රටේ අතීත වංශ කතාව තුල සිරිසේන ජනාධිපති දකින්නේ කුමන්ත්‍රණකාරී කපටියෙක් ලෙස නෙමෙයිද..? ඒවගේම කුමන්ත්‍රණකාරී කපටින්ව ඉහලින් අගය කල අඥාන මිනිසුන් බහුතරයක් මෙකල විසු බව නොවේද ? 

මගේ මේ අදහස කෙනෙකුගේ සිත් රිදවන සුළු බව දනිමි එහෙත් මා දකින අසුන්දර සත්‍යය මෙයමය. මන්ද රුපියල් මිලියනයක් තම ඉන්දන වියදම් ඉතිරිය ආපසු දුන් සිරිසේන සෞඛ්‍ය අමාත්‍යංශය අනුයුක්ත රෝහලකින් තම වාහන වලට ඉන්දන සපයා ගත බවටත්, තම පුත්‍රයා විසින් ලබාදී ඇතැයි පවසන ඩොලර් මිලියන ගණනක මුදල් පිලිබදවත්, පැහැදිලි පිළිතුරු ලබා නොදේ. තම සටන් සගයා රැවටූ බවට උදම් අනන මේ මිනිසා හෙට වෙන රටකට පැනගොස් මම ලංකාවම රැවට්ටුවා කියා ගණනකටවත් නැතුව සිනාසෙමින් පැවසුවොත් එහි පුදුම විය යුතු යමක් වේද..?. 

අපේ ගුරු දෙවිවරුන් අපට ගුත්තිලය කියා දෙමින් කිවේ ගුත්තිලලා වෙන්න මිස මුසිලලා වෙන්න නොවේ . සත්තකුම්භ ජාතකය කියාදී කිවේ යහපත් පරිසරයක රැදෙන්නය. තමන් වැපිරූ බිජයේ ම ඵල තමන්ට ලැබෙන බව ජේසුස් වහන්සේ කිවූ බව කියා කිවේ හොද දේම කරන්නය. මහදැනමුත්තා ගේ කතා කියමින් කිවේ මැටි මෝල් තීරණ නොගෙනෙ, නුවනින් විමසා, ගුණ දම් සරසා, උතුමන් විලසා, තීරණ ගන්නටය. දැන් මේ අනාගත නායකයෙකු වන්න සිටිනා මිනිසා කියන්නේ කුමක්ද ? අර මා කලින් සදහන් කල උතුම් අභීත ගුණ තමන් තුල ඇති බවද ? නැතිනම් තමන් මේ රටේ ජනාධිපති රැවටීමට තරම් සුර කුමන්ත්‍රණකාරයෙකු වූ බවද..?  
ඇත්තෙන්ම කෙනෙකුට තමන් ගමන් කරන්නේ වැරදි මගක යයි සිතේ නම් තමන් නිවැරදි යයි සිතන මග ගමන් කිරීමට අයිතියක් මෙන්ම වගකීමක්ද තිබේ. එයට අප අභියෝග කරන්නේනම් එය වරදකි. මම එසේ නොකරමි, නමුත් මම මොවුන් අප විශ්වාස කල තරම් අභීත නායකයන් නොවේ යයි කියමි. මොවුන්ට වඩා එදා තමන්ගේ සෞඛ්‍ය තත්වය අයහපත් කියා ආණ්ඩුවෙන් ගිය හේමකුමාර නානායක්කාර ඇමතිතුමා අති ශ්‍රේෂ්ටය. ඔහු අද ආණ්ඩුවට පට්ට පදුරු යන්න පහර දෙයි. නමුත් ඔහු එලියට බැස්සේ කුමන්ත්‍රනකාරයෙකු ලෙස නොවේය. විදුර වික්‍රමනායක නාමල් රාජපක්ෂ ට යුද ප්‍රකාශ කලෙත්, විමල් විරවංශ පි බි ජයසුන්දරට එරෙහි උනෙත්, ෆීලික්ස් රාජිත ට එරෙහි වන්නේත්, පාඨලී පවිත්‍රා ට එරෙහි වන්නේත් ඔය කියන කුජිත වූ නායකයින් රජ ගෙදර ආප්ප කකා මහින්දගේ කෝප්ප හෝද හෝදා ඉන්නා කාලේය. ඉතින් සැබෑ අභීත නායකයින් කව්ද කියා අපට නොවෙටහේද .? මගේ අදහස නම්,රටකට ඕනේ අභීත නායකයෙක් මිස සැගව පහර දෙන ගරිල්ලෙකු නොවේ යන්නයි. 

මහින්ද යනු සර්ව සම්පුරණ දෙවියෙකු නොවේ. නමුත් සංසන්දනාත්මකව ගත් කල ඔහු ශ්‍රෙෂ්ට වන්නේ ඔහු විශ්වාශ කල හැකි මිනිසෙකු බැවිනි. යුද සමයේ නිදි වැදී සිටි අමනයින් අද අපේ යුද ජයග්‍රහණයන් උදෙසා විශාල සේවයක් කල කරුණා ප්‍රමුඛ දමිල තරුණයින්ට අපහාස කරන විට, එය පෙන්වා ඔහුගේ මහින්දගේ චන්ද පදනම සොලවන විට, ඔහු මිනිසුන් රවටා චන්ද ටිකක් ගොඩ දා ගන්නවත් කරුණා අම්මාන් පවා නොදෙයි. මිල්ලේනියම් සිටි පාවාදීම කල ද්‍රෝහීන් ජාත්‍යන්තර කොටි ජාලය අඩපණ කිරීමට උදව් කරන KP නැවත කොටින්ට දෙන්නට සැලසුම් කරන විට කුණු අපහාස විදිමින් ඔහු රකියි. එදා UNP එක JVP කාරයන් කියමින් අහිංසක මිනිසුන් මරද්දී, ඒ මිනිසුන්ගේ පණ බේරා දෙන්නට ජිනීවා යෑම ගැන UNP ය හා JVP ය එක පෙලේ ඉද අපහාස කරද්දී, මහින්ද අදත් තම නිවැරදි තීරණය ගැන පස්චත්තාප නොවී, මරපු උන් මැරුණ උන් හා එක්වී කරන අපවාද විදාගන්නේ උපෙක්ෂා වෙනි. කටට එන දේවල් බලය උදෙසා කියන මිනිසුන් අතර තම වගකීම වෙනුවන් නාහෙන් නාඩා සිටීම ම අගය කල යුතු ගුණයක් නොවේද…? 

අද රතන හිමියන් හා ජවිපෙ කියන්නේ මහින්ද බෑ කියද්දී තමන් ඔහු යුද්ධයට දක්කා ගෙන ගිය බවයි. එය බොරුවක් නොවේ. මෙහි කැත කම ඔවුන් හොදින්ම දන්නා සම්පුර්ණ සත්‍ය නොකීම පමණි. මහින්ද එදා යුද්දයට යන්න අදි මදි කලේ ඇයි යන්න දැන ගන්න නම් කරන්නාගොඩගේ තම අත්දැකීම් ඇසුරෙන් ලියු අධිෂ්ටාන පොත. එකල කිර්ති වර්ණකුලගේ ආරක්ෂක කොලම් පෙළ, පාරමී කුලතුංග ඝාතනය පිළිබද ලිපි, රොහාන් ගුණරත්න යුද්ධය ගැන ලියු පොත් කියවිය යුතුවේ. එවිට ඔබට මහින්ද ඇත්තටම යුද්ධය පටන් ගත්තේ මාවිල් ආරු වහපු හින්දාද නැත්නම් ඊටත් කලින්ද යන්න ඔබටම පසක් වනු ඇත. යුද්ධ කිරීම යනු, පොල්ලක් අරන් බල්ලකුට තලනවා වගේ සරල වැඩක් නොවන බව මහින්ද හොදින් දැන සිටියේය. එය අර ගන්නෙත් ඉල්ලන්නෙත් ජීවිතයි. බැරි වෙලාවත් යුද්ධය පැරදුනා නම් අද යුධ ජයග්‍රහණයන්ට උප්පැන්න දෙන්න පොර කන එක තාත්තා කෙනෙක් වත් හොයා ගන්නවත් නැති වන බව මහින්ද නොදැන සිටියා විය නොහැක මන්ද ඔහු අත්දැකීම් බහුල පරිනත අයෙකි. මේ කිසිත් නොදැන අන්තර්ජාලයේ ෆේස් බුක් එකෙන් විතරක් ඉතිහාසේ ඉගෙන ගෙන තියෙන උන්ට කවදාවත් මෙය නොතේරේ. එහෙයින් පැහැදිලිවම රතන හිමි මේ බොරුව කියන්නේ ඔවුන්ට විය යුතුය. 

අවසානයේ මා මේ සියලු නායකයිනට කියන්නේ අපිව අන්දන්නෙ නැති.. අපට ඔබෙන් යමක් උගත හැකි පරමාදර්ශී සැබැ නායකයන් වන ලෙසයි