Friday, December 26, 2014

මේ කොයි යන්නේ..? රයිගම් යන්නේ..!!!

මා ඉතාමත් අකැමැති අතීතයක්  මටද ඇත. 1988-1989  තුල මගේ කුළුපගම මිතුරන් දෙදෙනාත්, හිතවත් ඥාති වරයෙකුත් මට අහිමි  විය. මගේ ඥාති සහෝදරයා මිය ගියේ ලයිට් කණු පෙරලීමට යාමෙන් විදුලිය වැදීමෙනි. මගේ එක් මිතුරෙක් මිය ගියේ JVP පන්තියකට සහභාගී වූ දිනෙක දියේ ගිලිමෙනි . මගේ  අනෙක් මිතුරා සැගව සිටීමට තෝරා ගන්නේ ගල්ගමුව ප්‍රදේශයයි. එහි ටයර් කඩයක වැඩ  කරමින් සිටිනා අතර තුරම ඔහු ඇත අඩංගුවට පත් වූ පසු සැගව ගියේය. යොවුන් වියේදි  විප්ලවය සුන්දරය. මදුරු දගරයක දැවටු අති විශාල බට්ටා පුපුරා යන්නේ එය අටවන ලද්දන් ගෙදර නිදා සිටිද්දීය. පොලිසිය බොහෝවිට අල්ලා ගත්තේ  ඒ අසළ සිටින අහිංසකයකි. ලයිට් කණු, ට්‍රාන්ස්පෝමර්, ගොවි ජන සේවා මද්‍යස්ථාන  අනෙක් රජයේ දේපළ විනාස කලේ ඒවා විප්ලවයට අවශ්‍ය මනෝ මූල සාධක නිර්මාණය කර ගැනීමට විය යුතුය. සටන් සගයකුගේ මරණය ජවය උපදවන අභිප්‍රෙරරකයකි. ඔවුන්  වෙනුවෙන් ලියවෙන කවිය හා අතින්ම සිතුවම් ඇදී නිමැවෙන ශෝකාලාපය දැකීමෙන් දැනෙන්නේ දුකට වඩා සමාජය ගැන තරහකි. කොටින්ම කිව්වොත් හිතෙන්නේ ඉල්ලාගෙන කා හෝ මැරී මේ  සුන්දර මරණයේ අභිමානය උරුම කර ගන්නටය. ඒ තරමටම, මිනිය පෙට්ටියකට දමා ගැනීමට වාසනාව ලද  අපේ මිතුරන්ගේ මළ මිනී වෙන්දේසි කිරීමේ කලාවක් සංවිධානය තුල විය.

මාගේ අප්පච්චිට පින් සිදු වෙන්නට මම  අම්මා, වානේ පන්නරය ලැබූ හැටි, යුද්ධය හා සාමය වැනි අනගි සාහිත්‍ය කෘති මෙන්ම  කොමියුනිස්ට් මුලධර්ම, සමාජවාදය පිලිබඳ දේශපාලන කෘති හා ලෙනින්,මාර්ක්ස්, එංගල්ස් වෙන්නවුන් ගැනත් කියවා තිබුනේ  ළා බාල වියේදීමය. ඒවායේ විප්ලවාදීන් මානවහිතවාදී ප්‍රගතිශීලී ධෛරයවන්තයින්  වුහ. නමුත් මා JVP එකේ දුටු බහුතරයක් දෙනා තුල තිබුණේ වෛරී හැගීමකින් විනා මැනැවින් තෝරාගෙන ක්‍රියා මාර්ග  වලට නොඑළෙබෙන බවය. !971 විප්ලවවාදීන් පිලිබද අප අසා දැන සිටි කිසිදු ගුණයක් 1989 ක්‍රියාකාරීන්ගෙන් දැකීම උගහට විය.  එනිසා  1989 මර්ධනයෙන් පසු පණ බේරාගත්, ප්‍රගතිශීලී වෙනසක් පැතු බොහෝ දෙනෙක්  සංවිධානයෙන් වියුක්ත වුහ.

කෙසේ නමුදු සංවිධානයද මේ වන විට සමාජවාදය කරා යන ගමනේ උපාය මාර්ග වෙනස් කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව බලය ලබා ගැනීමට තීරණය කරමින් උණ්ඩය වෙනුවට චන්දය සෙවීම ඇරබියේය.  මේ එළැබුම  රටේ එතෙක් සම්ප්‍රධායික සමාජවාදී පක්ෂ වලට සහය දුන් ජනයා මහත් හරසරින් පිළිගත්හ. එහෙයින්ම වරෙක රටේ වැඩිම ජනප්‍රසාදයක් ලබාගනිමින් පාර්ලිමේන්තුවේ තීරක බලයක් සහිත පක්ෂයක් දක්වා  ඉහළට ගියේ පැරණි සමාජවාදී පක්ෂ අසරණ කරමිනි.

අවාසනාවක මහත නම් JVP එකට බොහෝ විට වැරදී ඇත්තේ කොමන් සෙන්ස් නැත්නම් ජන විඥාණය පිළිබද ඇති ප්‍රශ්ණයකිනි. එය සනාථ කරමින්  ජවිපෙ ගත් සමහර තීරණ වල ඵලය ඌයෙ තම පක්ෂය කැලි කැඩී දෙදරා යාමත්, ජනතා විශ්වාසය පළුදු කිරීමේ වන්දිය ලෙස තමන්ට පාර්ලිමේන්තුව තුළ තිබු තීරක බලය අහිමිවිමත්ය. තත්වය මෙසේ තිබියදී ගත්  සමහර තීරණ නිසා අද වන විට ජවිපෙ වටා සැබැවින්ම වට වී තිබෙන්නේ UNP හිතවතුන්ය. නමුත් එම හිතවත්කම ඵල රහිතය. මන්ද ඔවුන් ගේ අපේක්ෂා අභිලාශ කිසිවිටකත් ජවිපෙ හා නොපෑහෙන බැවිනි. එය  පසුගිය ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කළහොත් එය සක්සුදක් සේ තහවුරු වන්නේය.

වර්ථමාන ජවිපෙ බොහෝ දියාරු බලවේගයකි. නමුත් මේ දේශපාලන වාතාවරණය සැබැවින්ම තමන්ට නැති බලයක් ඇති බව පෙන්වීමට හොද වාතාවරණයකි.  එයට හේතුව නම් අනෙක් විකල්ප බලවේගද මේ අවස්ථාවේ කොන්දේසි විරහිතව  ජවිපෙ උදව්වට පැමිණිය හැකි බැවිනි. නමුත් මේ කුමක් කලද ජවිපෙ ශක්තිය ගොඩනගා  ගත නොහැකි වනු ඇත. එසේ වන්නේ  අද පවතින දේශපාලන ලෝකයේ ජවිපෙ හා තරග කිරීමට ප්‍රබල කුඩා සංවිධාන කීපයක්ම මතු වී ඇති හෙයිනි.

මගේ පෞද්ගලික හැගීම නම්  ජවිපෙට සියදිවි නසා ගැනීමට තව එකම එක වැරදි තීන්දුවක් සැහේ. ලංකා ඉතිහාසයේ අපේ රටේ ජාතික සම්පත් වන මිනිස් සම්පත,   රාජ්‍ය දේපලආරක්ෂාව  හා ව්‍යාපාර පැවැත්ම විනාස කිරීමේ ක්‍රියාව තම දේශපාලනය කරගත් පාර්ශව ඇත්තේ දෙකකි. ඒ LTTE ය හා JVP යයි. අවාසනාව නම් තවමත් එයම නිවැරදි යයි සිතන කොටස් මේ දෙපාර්ශ්වයේම සිටීමයි. LTTE යට නොමැති වාසියක් JVP එකට ඇත. එනම් UNP රජයක් පවතින විට ඔවුන්ගේ ක්‍රියා සාධාරණිකරණය සදහා ශ්‍රී ලංකා ප්‍රමුඛ වමේ පක්ෂ ඉදිරිපත් වීමත්. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ රජයකට විරුද්ධව ක්‍රියාත්මක වන විට UNP ප්‍රමුඛ විපක්ෂයේ රැකවරණය ලැබීමත්ය. මේ ආවරණය නිසා ඔවුන් ගේ ක්‍රියා නිසා රටට සිදුව ඇති අලාභය කිසිදා හුදී ජන අවධානයට නතු නොවේ.


කෙසේනමුදු, අද පවතින ජවිපෙන් මහා දෙයක් බලාපොරොත්තු විය නොහැක. එය මේවන විටත් සිල්ලර දේශපාලන කථා වලින් ජනයාගේ කණ පිනවනවා හැරෙන්නට තර්කානුකුල හා විද්‍යාත්මක පසුතල මත ගොඩනැගුන  අභියෝග කරන්නේ නැත. එදා වේලට තීරණ ගනිමින් පණබේරා ගනිමින් යන ජවිපෙ හෙට නැවත අවි ඔසවා ආණ්ඩුවට යුද්ධයකට ආරාධනා කලොත් එය පුදුම විය යුත්තක්ද නොවේ. මන්ද දිනෙන් දින ගරා වැටෙන තම පක්ෂය බේරා ගැනීමට ජවිපෙට අනුවනම් එය හොදම උපාය මාර්ගයකි. නමුත් අද ඇත්තේ මිට දශක කීපයකට පෙර සිටි පරපුරක් නොවේ. ඔවුන් විප්ලවය ලෙස දකින්නේ අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි වල පොස්ට් දැමීම, ලයික් කිරීම, කොමෙන්ට් කිරීම, හා  සෙයාර් කිරීමයි. මෙවන් පරපුරක් හා දැන් නම් කල හැකි වන්නේ අන්තර්ජාල යුද්ධයක් පමණමය.

No comments:

Post a Comment