Friday, February 20, 2015

මා සදාකල්හිම දේශපාලන ජීවියෙකි..


මුහුණු පොත (facebook) තුල මා share කරන දේවල් හා ලියන, කියන දේවල් අසන දකින මගේ මිතුරන් මගෙන් විමසන දෙයක් නම්.. මා ඕනෑවට වඩා දේශපාලනයට නැබුරු වෙනවාද?.. මා ජාතිවාදී වෙනවාද?.. ම ආගම්වාදී වෙනවාද?.. යන ප්‍රශ්න වැලයි.. මා ඔබට දෙන පිළිතුර මෙයයි 

ඇත්තෙන්ම මා සදාකල්හිම දේශපාලන ජීවියෙකි.. වර්තමාන ලෝකයේ දේශපාලනයෙන් මිදුණු කිසිවෙකු ලොව ජිවත් නොවේ යයි මම තදින්ම විශ්වාශ කරමි. යමෙකු දේශපාලනය නොකරනවා හෝ දේශපාලනයට අසංවේදී වීම යනුවෙන් යමෙකු හදුන්වන්නේ.. කිසිවෙකු කිසිම දේශපාලනයක් නොකරනවා යන්න නොවේ. ඔවුන් ඕනෑම දේශපාලනික රාමුවකට අනුයුක්ත වනවා යන්නයි. මම විස්වාශ කරන්නේ සැබවින්ම එය ඕනෑම ස්වාමියෙකුට කීකරු සත්වයෙක් වීමක් මෙනි. සැබවින්ම මා දේශපාලනය කරමි. මා පාලනය වීමට කැමති ආකාරයක් මට ඇත. මා අවනත වීමට කැමති නායකයින්ද මට ඇත. මගේ දේශපාලනය යනුවෙන් මා විශ්වාශ කරන්නේ මම කැමති වාතාවරණයක් තනා ගැනීමට ම දරණ උත්සාහයත්, එය මම කැමති විධියකට හා මම කැමති නායකයින් යටතේ ලැබිමටත් මා දරණ උත්සාහයත්ය. එවන් තත්වයක් මා යම් හෙයකින් ලැබුවත් මා කිසිවිටෙකත් සුවච කීකරු අනුගාමිකයෙකු නොවේ. මම කැමති නායකයින්, මම කැමති පාලන ක්‍රමවේදයන්, මෙන්ම ම කැමැති වාතාවරනයන්ද, වඩා යහපත් ගොඩනැගීමක් කරගනු වස් විවේචනය කරන්නාවූ ස්වාදීන පුරවැසියෙක් වීමට මම කැමැත්තෙමි. එහෙයින් මම සැමවිටම මම මගේ පරමාධිපත්‍යත්, මගේ ස්වාධිපත්‍යයත්, මගේ අධිකාරීත්වයත් වෙනුවෙන් හඬ නගමි සටන් කරමි. මාගේ දේශපාලනය එයයි. එම දේශපාලනය මම කරන අයුරින්ම මගේ මිතුරන්ද,සතුරන්ද කරනු දැකීමත් එය ඉවසීමත්, එය ඉවසීමට නොහැකි තරම් වූ පීඩනයක් ම වෙත යොමු කෙරේනම් එයට එරෙහිව සටන් කිරීමත් මගේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ මගේ දේශපාලනයයි.

අනෙක් කරුණ නම් මා ජාතිවාදීද යන්නය. මා කිසිමවිටක ජාතිවාදී නොවන අතර ජාතිවාදය ප්‍රතික්ෂේප කරමි. එහෙත් මම ජාතිකවාදියෙක් යන්න නොබියව පවසමි. මගේ ජාතිකත්වය ශ්‍රී ලාංකික සිංහල වන අතර මේ විශ්වය තුල මගේ ජාතිකත්වයට හිමි විය යුතු සියලු සාධාරණ අයිතීන් ලැබීමටත් ඒවා කිසිවෙකුගේ අවහිරයකින් තොරව බුක්ති විදීමට මම සැමවිටම අපේක්ෂා කරමි. මාගේ හොදම පෞද්ගලික මිතුරන් අතර සියලු ජාතින් සිටිති. මම මගේ ජාතිකත්වයේ අයිතීන් වෙනුවෙන් හඬ නගන විට ඔවුන්ගේ සිත් රිදේ නම් මම ඉතා කණගාටු වෙමි. එහෙත් මා සැබවින්ම ඕනෑම දෙමළ, යෝනක, හෝ වෙනත් ජාතියක කෙනෙකුට මේ ශ්‍රී ලංකාවේ ඕනෑම තැනෙක ජිවත් වීමට අයිතියක් ඇති බව විශ්වාශ කරමි. එය සිංහලයෙකුට යාපනයේත්, දෙමලෙකුට කොළඹත් ජිවත් වීමට හා ජීවිකාව කිරීමට ඇති අයිතියයි. යම් හෙයකින් කිසිවෙකු දෙමළ අයට යාපනයේත්, මුස්ලිම් අයට නැගෙනහිරත්, වාසය කිරීමට පරම අයිතියක් ඇති බවත් සිංහලයින්ට එම ප්‍රදේශ වල පදිංචි වීමට හෝ ජිවිකාවට අවකාශ නැති බවත් කියයි නම්. මේ ශ්‍රී ලංකාවට අයත් භුමි ප්‍රදේශය තුල මගේ ජාතිකත්වය වූ සිංහලයින්ට ඕනෑම තැනක සාධාරණව පදිංචි වී ආරක්ෂිතව ජිවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින අතර ඒ බව ඕනෑම විටක නොබියව ප්‍රකාශ කරමි. එය මගේ ජාතිකවාදිත්වය මිස ජාතිවාදය නොවේ. ජාතිවාදය යනු මගේ ජාතියට ඇති අයිතිය අන් ජාතියකට නොමැති බව ප්‍රකාශ කරන පටු නියායකි. මම එය බැහැර කරමි. මම විස්වාස කරන්නේ ශ්‍රී ලංකික සිංහලයෙකු ලෙස මට ඇති සියලු අයිතීන් අන් අයට තිබිය යුතුවා මෙන්ම අපටද එම ලෙසින්ම ලැබිය යුතු බවයි . 

මාගේ ආගමිකවාදිත්වය පිළිබදවද මට පැවසීමට ඇත්තේ පෙරකී දෙයමය. මම ශ්‍රී ලංකික සිංහල බෞද්ධයෙකු වන අතර අනෙක් අයටද තම කැමති ආගමක් ඇදහීමේ අයිතිය ඇති බවත් එය මා ගරු කරන බවත්ය. එහෙත් මේ විෂයේදී අන් ය විසින් අවබෝධ කරගත යුතු කීපයක් ඇති බව ම විස්වාශ කරමි. කැමති වුවද නොවුවද ශ්‍රී ලංකාව තුල බුද්ධ දහම පැවැත එන්නේ අවුරුදු දෙදහස් පන්සියකටත් පෙර සිටය. එනම් කිස්තුස් වහන්සේ ඉපදීමටත් අවුරුදු පන්සියකට පෙර සිටය. මුහමුද් තුමා ඉපදීමට අවුරුදු දහසකටත් පෙර සිටය. එහෙයින්ම මේ රට බොදු දහමින් පෝෂිත ශිස්ටාචාරයකට අනුව ගොඩනැගුනකි. පැහැදිලිව කිවොත් ශ්‍රී ලංකාව යනු ලොව පුර සිටින බෞද්ධයන්ගේ වතිකානුවයය නොඑසේනම් මක්කමය. වතිකානුවේ හෝ මක්කම සිටින බෞද්ධයෙකුට ඔහු හෝ ඇය ශ්‍රී ලංකාව තුල බුක්ති විදින ආකාරයේ ආගමික නිදහසක් ලොව වෙන ඕනෑම රටකදී මෙන් අපේක්ෂා කල නොහැක. මෙය මේ ශ්‍රී ලංකාව තුල ජිවත් වන අන්‍ය ආගමික මිතුරන් විශ්වාශ කලයුතු යයි මම සිතමි. එහෙයින් මම ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතික පැවැත්ම උදෙසා කොන්දේසි විරහිතව පෙනී සිටිමි. ඒ ආකාරයෙන්ම මම යම් කෙනෙකු වතිකානුව,මක්කම වැනි තැන් මුස්ලිම්, කිතුනු හෝ බෞද්ධ සංස්කෘතියකට නතු කිරීමට උත්සහ කරයි නම් මගේ මුස්ලිම් හා කිතුනු මිතුරන් සමග එක්ව එයට එරෙහි වෙමි. එහෙයින් මම සැමවිටම වී ඇත්තේ ආගම්වාදියෙකු නොව, ලොව සුවිශේෂ ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතිය, කතෝලිකයෙකු වතිකානුව රකින පරිදි , මුසල්මනුවෙකු මක්කම රකින පරිදි රැකගැනීම පමණි 

මේ වගට 
වසන්ත තෙන්නකෝන්